Wednesday, July 11, 2018

කිරි ගව ආහාර හා එළදෙනුන් පෝෂණය

කිරි ගව ආහාර හා එළදෙනුන් පෝෂණය

කිරි ගවයින් සඳහා ආහාර ලබාදීමේදී එම ආහාර ප්‍රභවයෙන් ගේ සුලභතාවය, ගුණාත්මක භාවය හා දැරීමට සිදුවන වියදම (පිරිවැය) පිළිබඳව සැලකිය යුතු වේ. මෙලෙස සපයන ආහාර තුලින් සතුන්ගේ වර්ධනය හා පෝෂණයට අවශ්‍ය වන ශක්ති ප්‍රමාණය, ප්‍රෝටීන, කැල්සියම්, පොස්පරස් හා කැරටොනොයිඩි (විටමින් A) පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. ප්‍රධාන ආහාර ප්‍රභවයන් ලෙස තෘණ, රනිල ශාක, පිදුරු සහ සාන්ද්‍ර ආහාර සැලකිය හැක. මීට අමතරව ඛනිජ ලවන හා විටමින් සුළු  ප්‍රමාණ  වශයෙන් ලබා දීම ඉතාමත් වැදගත් වේ.


නැවුම් තෘණ හා රනිල ශාක, ආහාරයක් ලෙස කෙලින්ම ලබා දිය හැක. පිදුරු ආහාරයක් ලෙස දෙන්නේ නම්, වියලි පිදුරු, යුරියා ප්‍රතිකාර කරන ලද පිදුරු හෝ සයිලේජ් වශයෙන් ලබා දිය හැක. සාන්ද්‍ර ආහාර සපයන්නේ නම් බඩ ඉරිගු, හාල් නිවුඩු, පොල් පුන්නක්කු ආදියෙන් සමන්විත සැකසු ආහාර ලබාදිය හැක.


සතුනට ලබාදෙන තෘණ, රනිල ශාක හා පිදුරු මත කිරි නිෂ්පාදනය තීරණය වේ. සාන්ද්‍ර ආහාර සපයන්නේ නම් අධික වියදමක් දැරිමට සිදු වේ. එබැවින් පහසුවෙන් ලබා ගත හැකි ආහාර ප්‍රභවයන් නොමැති විට පමණක් එම අඩුව සම්පුර්ණ කර ගැනීමට සාන්ද්‍ර ආහාර සැපයීම හොඳ පුරුද්දකි. ඛනිජ ලබන හා විටමින් අනිවාර්යයෙන් නිරතුරුවම සැපයිය යුතු අතර එය නිසි ලෙස නොලැබෙන විට සතුන්ගේ වර්ධනය, ප්‍රජනනය හා කිරි නිෂ්පාදන කාර්යක්ෂමතාවය කෙරෙහි එය සෘජුවම බලපායි.


පහත සඳහන් මනා කෘෂිකර්ම පිළිවෙත්, සත්ත්ව ආහාර ලෙස තෘණ, රනිල සහ පිදුරු භාවිතයේදී දේශිය කුඩා කිරි ගොවිපල තුල අනුගමනය කල හැක.

a). තෘණ හා රනිල ශාක (රළු ආහාරයක් ලෙස) වගා කිරීම

කුඩා කිරි ගොවිපල තුල තෘණ හා රනිල ශාක වගා කර ගැනීම සත්ත්ව ආහාර සැපයීමේ ඉතා ලාබදදායික ක්‍රමයකි. එහෙත් පාරිසරික පසාධක, මනා පාලන අවශ්‍යතාවයන් වැනි දෑ නිසා තෘණ වග කිරීම එතරම් පහසු නොවේ. නමුත් රනිල ශාක වඩාත් පහසුවෙන් වගා කල හැකි අතර පෝෂණ ගුණාංග වලින් ඉහල වේ. මේ නිසා තෘණ වලට වඩා රනිල ශාක වගා කිරීමේ හැකියාව ඇත.

b). කිරි ගවයින්ට ආහාර සලාකය ක්ෂණිකව වෙනස්  නොකල යුතුය.

රනිල ශාක හෝ වෙනත් ශාකමය රළු ආහාරයක් හෝ සාන්ද්‍ර ආහාර වැඩි ප්‍රමාණයක් ක්ෂණිකව සතුන්ට ලබාදීම කිසිසේත්ම නොකල යුතුය. මෙලෙස නුපුරුදු ලෙස රනිල ශාක වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් ආමාශය තුල වායු නිෂ්පාදනය හා තැන්පත් වීමක් තුලින් සතුන් රෝගී තත්වයකට පත් විය හැකි.
යම් හෙයකින් සතුනට ලබාදෙන රනිල ශාක ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය නම් වරකට ග්‍රෑම් 500 බැගින් දින 02 කට වරක් වැඩි කල යුතු අතර අවශ්‍ය ප්‍රමාණය දක්වා එය ක්‍රමාණුකුලව වැඩි කල යුතු වේ. අඩු කල යුතු ආහාර වර්ගය ක්‍රමාණුකුලව අඩු කිරීම ද වැදගත් වේ.


c). තෘණ වල මේරු කොටස් අපතේ යාම අඩු කිරීම


තෘණ වල ඝනකමින් මේරු කොටස් කුඩා කැබලි වලට කපා ආහාරයට ලබාදිය හැක. එමගින් තෘණ ආහාර කොටස් අපතේ යාම වලකා ගත හැකි අතරම ගොවිපල පරිසරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණයද අඩුකල හැක. කැබලි වලට කපා ලබා දීමෙන් ජීරණයද පහසු වේ.


d). ගොවිපල තුල වගා කර ඇති රනිල ශාක නිසි ලෙස කප්පාදු කිරීම.

ප්‍රධාන වශයෙන් කිරි ගවයින්ගේ ආහාරයට ලබා දෙන රනිල ශාක ලෙස වැටහිරියා හා ඉපිල් ඉපිල් බහුලව ගොවිපල තුල වගා කල හැක. මේ ශාක වල අනවශ්‍ය අතු රිකිලි හා උසට වැඩෙන අතු නිසි ලෙස කප්පාදු කර ඉවත්කර ගැනීම ඉතා වැදගත් වේ. ගොවි මහතාට ඉතා පහසුවෙන් ශාකයේ කොල අස්වැන්න ලබා ගැනීමට හැකි අයුරින් කප්පාදු කර ශාකය නිසි ලෙස පුහුණු කර ගත හැක. වර්ෂා කාලය ආරම්භයේදීම කප්පාදු කිරීම ඉතා යෝග්‍ය වන අතර එමගින් හොඳ කොල අස්වැන්නක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. කප්පාදු කර ඉවතලන අතු කැබලි නැවත සිටු විය හැකිය.


e). තෘණ සහ රනිල ශාක වල කොල අස්වැන්න මාරුවෙන් මාරුවට ලබා ගත හැකි ආකාරයට සකසා ගැනීම.

ගොවිපල තුල සීමිත තෘණ හා රනිල ශාක වගාවෙන් උපරීම ලෙස ප්‍රයෝජන ගැනීමට මෙම කමය වැදගත් වේ. තෘණ හා රනිල ශාක වල කොල අස්වැන්න නෙලාගත් පසු නැවත වර්ධනය වීමට කාලයක් ගත වේ. ඉතාම ආසන්න කාල පරතරයක් තුල නැවත නැවත අස්වැන්න නෙලා ගැනීමෙන් ශාකයේ වර්ධනය බාල වී අස්වැන්න අඩු වේ.
තෘණ ශාක අස්වැන්න නෙලීම ප්‍රමාද වීමෙන් ශාකයේ ගුණාත්මක බව අඩු වන අතර සතුන් එය ආහාරයට ගැනීමට ද ප්‍රිය නොකරයි. මේ නිසා මාරුවෙන් මාරුවට අස්වැන්න නෙලීමේ ක්‍රමයක් අනුගමනය කිරීමෙන් වර්ෂය පුරා අඛණ්ඩව හොඳ කොල අස්වැන්නක් ලබා ගැනීමටත් සතුනට කැමට ප්‍රිය ආකාරයට සැපයීමටත් ලැබෙන ප්‍රතිලාභය උපරිම කර ගැනීමටත් හැකි වේ.
තෘණ ශාක වල අස්වැන්න හා ගුණාත්මක භාවය කාලය සමඟ වෙනස් වන ආකාරය පහත රූපයෙන් දැක් වේ.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන මාරුවෙන් මාරුවට අස්වැන්න නෙලීමට සුදුසු කාල පරාසයක් සකස් කර ගැනීම වැදගත් වේ. මෙලෙස අස්වැන්න නෙලා ගැනීමට වගා භුමිය තෘණ සඳහා කොටස් වශයෙන් හෝ ගස් රනිල සඳහා කොටස් නැතහොත් ගස් ගහන අනුව හෝ දැනට වගා කර ඇති භුමිය (තෘණ සඳහා) නැතහොත් ගස් රනිල ගණන අනුව වෙන්කර ගැනීම වඩාත් සුදුසු වේ.


f). තෘණ හා රනිල වියලි ආහාරයක් ලෙස සැපයීම

තෘණ හා රනිල වියලා ගැනීමෙන් එහි ඇති පෝෂන තත්වය වැඩිකල හැක. මේවා මඟින් අධික වියදම් සහිත සාන්ද්‍ර ආහාර වැඩි වශයෙන් දුන් විට සිදුවන කිරි මේදය අඩුවීම හා කෙඳි දිරවීම අඩුවීම ද පාලනය කරනු ලබයි. එමෙන්ම තෘණ අධික කාලයේදී ඒවා අපතේ යෑම වැලැක්වීමට ද හොඳ විකල්පයකි. එමෙන්ම මිශ්‍ර කරන ලද සාන්ද්‍ර ආහාර සඳහා යන අධික වියදම පාලනය සඳහා නිවුඩු, කැඩුනු, බඩඉරිගු වැනි දෑ තනි තනිව ආහාරයට දිය හැක.


g). සාන්ද්‍ර ආහාර සැපයීම

සාන්ද්‍ර ආහාර ගවයාගේ ආහාර වේලේ ප්‍රමුඛ තැනක් ගන්නා නමුත් මේවා වියදවම් අධිකය. නමුත් නියමිත ප්‍රමාණ වලින් සැපයු විට කිරි අස්වැන්න වැඩි කිරීම සඳහා වැඩි දායකත්වයක් ලබා ගත හැක. නමුත් තන්තුමය ආහාර වියලීමෙන්ද එහි ඇති පෝෂනීය තත්වය ඉහල නංවා ගත හැක. නමුත් ක්ෂේත්‍රයේදී මෙම තත්වය දැක ගැනීමට අපහසුය. සාන්ද්‍ර ආහාර වල කෙඳි ප්‍රමාණය සුළු බැවින් ශක්ති ජනක ප්‍රෝටීන් සහ අනෙකුත් පෝෂක බහුලය. මෙම ආහාර පුන්නක්කු, බඩ ඉරිගු, සහල් නිවුඩු වශයෙන් තනිව හෝ මිශ්‍රණ වශයෙන් ලබා දිය හැක.

h). ආහාර පරිපුරක සැපයීම

මේවාද සාන්ද ආහාර ගණයට වැටෙත්, මුලික අරමුණ ආහාරයේ පවත්නා පෝෂක ඌනතාවයන් වලක්වා ගැනීමයි.
බොහෝ විට සිදු වන්නේ සාන්ද්‍ර ආහාර මිශ්‍රණයක් ලෙස ලබා දීමයි. ඉක්මනින් ජීර්ණය වන නිසා යුරියා සමඟ ලබාදීම ආහාරය විෂ වීමට පුලුවන. සීමා රහිතව සාන්ද්‍ර ආහාර ලබා දුනහොත් කෙඳි සහිත ආහාර ජීරණය අඩාල වේ.


No comments:

Post a Comment